Sabada Api | සබද අපි - විශාරද ගුණදාස කපුගේ විසිවස් කම්පන සංගීත ප්‍රසංගය Full Programe

Darley Butler Digital
Darley Butler Digital
17.1 هزار بار بازدید - 12 ماه پیش - විශාරද ගුණදාස කපුගේ විසිවස් කම්පන
විශාරද ගුණදාස කපුගේ විසිවස් කම්පන සංගීත ප්‍රසංගය “සබද අපි”
ඔබටත් නැරඹීමට අවස්ථාවක්
මනුෂ්‍ය දිවි සැරියේ පුද්ගලිකව අත්විදින්නා වූ සහසක් කම්පනයන් මනාව හැඳිනගෙන, සිය නිර්මාණාත්මක විභවතාවයෙන් සේම අත්දැකීම් ප්‍රතිනිර්මාණය කොට, සමාජයට පොදුවේ විඳිය හැකි ලෙසට ජනගත කළහැකි කලාකරුවන් බිහිවන්නේ ජාතියේ පින් මහිමයෙනි. එවන් කලාකරුවන් මිය ගියද ඔවුන් හෙල කලා කෙතට දායාද කල නිර්මාණ හෝ ඔවුන්ගේ මතකයන් කිසි දිනක මිය නොයනු ඇත. නොමියෙන හඩක් සහ හදවත් තුල ගැබ්ව පවත්නා ගීතාවලියක හිමිකරුවෙකු වන විශාරද ගුණදාස කපුගේ මහතාගේ විසිවස් කම්පන වැඩසටහන "සබඳ අපි" සංගීත ප්‍රසංගය ඔහුගේ පුත් මිත්‍ර කපුගේ මහතාගේ ගැයුම් ස්වරයෙන් වර්ණවත් විය. කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත් වූ මෙම වැඩසටහන සඳහා ලබැඳි සවියක් වෙමින් දායකත්වය සපයන්නට සීමා සහිත ඩාර්ලි බට්ලර් සහ සමාගම කටයුතු යොදා තිබුණි.
වර්ෂ 1945 අගෝස්තු මස 07 වැනි දින දකුණු ලක මිරිස්වත්ත ග්‍රාමයේදී, දෝන ඇලිස් නෝනා සිරිබද්ධන මෑණියන්ටත් ඇල්ලමුල්ල කපුගේ ෆ්‍රැන්සිස් පියාණන්ටත් දාව ඇල්ලමුල්ල කපුගේ ගුණදාස ළදරුවා උපත ලබන්නේ අට දෙනෙකුගෙන් සමන්විත පවුලක දෙවැනි දරුවා ලෙසයි. කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයෙන් සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් සිප් සතර හදාරන හෙතෙම, සිය සහජ කුසලතාවයන් වඩාත් ඔපමට්ටම් කරගනු වස් 1962 වසරේදී හේවුඩ් කලායතනයට පා තැබීය. 1963 දී රජයේ සංගීත විද්‍යාලයෙන් නොහොත් හේවුඩ් වෙතින් නික්මෙන්නේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ලක්නව් හි භාත්ඛන්ඩේ විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට වරම් හිමිකර ගනිමිනි. ඉන්දියානු ප්‍රවීණ සංගීතඥයින් යටතේ අධ්‍යාපනය ලබා භාත්ඛන්ඩේ සංගීත විශ්ව විද්‍යාලයෙන් සංගීත උපාධිය නිමකරන ගුණදාස තරුණයා 1969 වසරේ දී තම වෘත්තීය දිවිය අරඹනුයේ ශබ්ද පරිපාලකයෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එක වෙමිනි. ගායකයෙකු ලෙස කපුගේ දොරට වඩිනුයේ 1973 වසරේදී ප්‍රියානන්ද විජේසුන්දර විසින් විරචිත "දෑස නිලුපුල් තෙමා" ගීතය ගායනා කරමිනි. මෘදු ප්‍රේම ගීතයෙන් ඇරඹි ඔහුගේ ගායන දිවිය, මෙරට සුවහසක් දුක්විඳින ජනතාවගේ සංකීර්ණ සමාජ-ආර්ථික ප්‍රශ්න හමුවේ වඩාත් ප්‍රකම්පනය විය. 1979 දී කියුබාවේ හවානා නුවර පැවති සංස්කෘතික තරුණ සම්මේලනයට සහභාගී වීමෙන් හෙතෙම ලද අත්දැකීම්, ඔහුගේ සමාජ ප්‍රේමී චින්තනය වඩාත් තීව්‍ර කරන්නක් විය. එතැන් පටන් මෙරට පීඩිත සමාජ ස්ථරයෙහි නිරතුරුව ම අසාධාරණයට ලක්වන "පුංචි මිනිසා" වෙනුවෙන් සිය හඬ සපිරි නිර්මාණයන් මෙහෙයවීමට මෙම සොඳුරු කලාකරුවාණන් නිතැතින්ම පෙළඹිණි.
කලින් කල ලැබුණු දේශපාලන ස්ථාන මාරුවීම් වෙස්වලාගත් ආශිර්වාදයක් ලෙස හඳුනාගත් විශාරද  කපුගේ මහතා රජරට ගුවන්විදුලි  සේවයේ ස්වර්ණමය යුගයක් බිහිකළ හෙතෙම මෙරට සුභාවිත ගීත ක්ෂේත්‍රය පෝෂණය කරනු වස් අති විශාල ගෝල පරපුරක් බිහි කිරීමට ද සමත් විය. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ එක්  අඳුරු පරිච්ඡේදයක, පීඩනයට සහ මර්ධනයට ලක් වෙමින් සිටි ජන ප්‍රජාව වෙනුවෙන්  "කම්පන"ප්‍රසංගය හරහා සිය අභීත හඬ අවධි කල මෙම මිනිසා ගොවිපලේ , කම්හලේ දහදිය වැගිරූ හඬක් නැගිය නොහැකිවූ සුවහසක් ජනතාවගේ "හඬ" ම විය. හෙළ ගීත කෙත උදෙසා සිදු කල මෙහෙවර වෙනුවෙන් OCIC, ස්වර්ණ සංඛ, රස සංගීතා, සරසවි සහ ජනාධිපති සම්මාන වලින් වරින් වර පිදුම් ලද හෙතෙම ජන හදවත් හි වෙසෙස් තැනෙක සදාතනිකව ම ලැගුම් ගත් සදාදරණීය මිනිසා ම  විය. හීන්දෑරී රුවක් ඇදෙන තුරු මග බලා සිටීමට දෑසට ඉඩ හරිමින් මේ සොඳුරු මිනිසා, දෙදහස් තුන වසරෙහි අප්‍රේල් මස 03 වැනිදා සිදුවූ හදිසි අනතුරකින් සිය අවසන්  සුසුම් පොද වා තලයට මුහු කලහ.
විශාරද ගුණදාස කපුගේ සංගීතවේදියාණන් අප හැරගොස් වසර  විස්සක් පිරීම නිමිහිකොට පවත්වන්නට යෙදුනු ගුණ සැමරුම් වැඩසටහන සඳහා ආරාධිත අමුත්තන් ලෙස ප්‍රවීන ගේය පද රචක රඹුකන සිද්ධාර්ථ හිමියන්ද, ප්‍රවීන නාට්‍යවේදී ප්‍රේමරත්න තෙන්නකෝන් මහතා සහ පවුලේ ඥාතී පිරිස්ද සම්බන්ධ විය. ප්‍රසංගය ආරම්භයේදී ගුණදාස කපුගේ මහතාගේ ගුණ සිහිකරමින් බුහුමන් දැක්වීමෙන් අණතුරුව ආරම්භ කල සංගීත ප්‍රසංගයේදී කපුගේ පුත් මිත්‍ර කපුගේ මහතා ගීත තිහකට ආසන්න ප්‍රමාණයක් ගායනා කරමින් වැඩසටහනට රසවින්දනය කැන්දන්නට වූහ. ජන මනසේ ලැගුම් ගෙන තිබූ තම පියාණන්ගේ ගීතාවලියට මියුරු හඬ එක් කරමින් නිසි ගරුත්වය ලබා දීමට මිත්‍ර කපුගේ මහතාට හැකි වීම බොහෝ දෙනාගේ ප්‍රශංසාවට හේතු විය. මෙම අනගි අවස්ථාව පටිගත කොට එතුමන්ගේ රසික හදවත් වෙත සමීප කිරීමට කටයුතු යොදා ඇත..

© 2023 by @db media productions
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of db media productions
12 ماه پیش در تاریخ 1402/05/11 منتشر شده است.
17,140 بـار بازدید شده
... بیشتر