මාධ්‍ය ආවර්ජනා/Media Memories: ජ්‍යෙෂ්ඨ විකට චිත්‍රශිල්පි කැමිලස් පෙරේරා Camillus Perera Part 2 of 2

Media Memories LK
Media Memories LK
1.2 هزار بار بازدید - 5 سال پیش - අද ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම
අද ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම හා ජනප්‍රියතම විකට චිත්‍ර (කාටූන්) ශිල්පියා වන කැමිලස් පෙරේරා සූරීන් 2019 දෙසැම්බර් 1 වනදා 80 විය සම්පූර්ණ කළා.

වසර 50කට වැඩි කාලයක් තිස්සේ ලක් සමාජයේ විවිධ පැතිකඩ ගැන විටෙක සානුකම්පිත ලෙසත්, තවත් විටෙක නිර්දය ලෙසත් විවේචනය කරන්නට ඔහු උපහාසය හා හාස්‍යය අති දක්ෂ අන්දමින් යොදා ගත්තා.

මෙම සාකච්ඡාවේ මුල් කොටසින් කැමිලස්ගේ ළමා කාලය ගැනත්, තරුණයකු ලෙස ඔහු මහත් උත්සාහයෙන් හා අධිෂ්ඨානයෙන් විකට කාටූන් නිර්මාණය ප්‍රගුණ කොට මෙරට විශාලතම පුවත්පත් සමාගම වන ලේක්හවුස් ආයතනයේ පත්තර කිහිපයකට කාටූන් අඳින ශිල්පියකු වූ සැටිත් අප කථා කළා. මාධ්‍ය ආවර්ජනා/Media Memories: ජ්‍යෙෂ...

1960 දශකය ආරම්භයේදී කිසිවකුත් අසා නොතිබුණු කැමිලස්, එම දශකය අවසන් වන විට රටේ ඉතා ජනප්‍රිය කාටූන් රැසක නිර්මාණකරුවා වුණා.

මේ වකවානුව මෙරට චිත‍්‍රකථා කලාවේද නැගීම සිදු වූ යුගයයි. එම ජනප්‍රියත්වය පාද කර ගනිමින් 1972 අගෝස්තු 29දා ලේක්හවුසිය චිත‍්‍ර කථාවලටම වෙන් වූ සතුට පත‍්‍රය ආරම්භ කළා. කැමිලස්ගේ ගජමෑන් මුලින්ම පාඨකයන් අතරට ආවේ ‘සතුට’ හරහායි.

1973දී ලේක් හවුසිය රජයට පවරා ගත් පසු එහි කර්තෘ මණ්ඩල නිදහස අඩු වන්නට ගත් සැටිත්, රජය විවේචනය කරන්නට සීමා පැනවුණු සැටිත් කැමිලස් මේ දෙවන කොටසින් විස්තර කරනවා. ගතානුගතිකත්වය හා රාජ්‍ය ගැතිවීම කර පින්නා ගත් ලේක් හවුස් කතුවරුන් හා පරිපාලකයන් 1974 යම් අවස්ථාවක කැමිලස්ගේ කාටූන් පළ කිරීම නතර කරනවා.

"ලේක් හවුස් එකේ දොර වැහුවාම මගෙ ආත්මය නැති වුණා වගෙයි මට දැනුණේ. මා ජීවත් වුණේ ඒකෙන්. මට පුළුවන් ෆුට්බෝල් ගහන්නයි කාටූන් අඳින්නයි විතරයි. අඳින කාටූන් පළ කරන්න තැනක් නැති වුණාම මම හරියට අසරන වුණා" ඔහු කියනවා.

ඒත් නොබෝ කලෙකින් අනුර බණ්ඩාරනායක මුල් වී පළ කරමින් තිබූ 'අද' පත්තරයට සම්බන්ධ වීමට කැමිලස්ට ඇරැයුම් කැරෙනවා. ඉනික්බිතිව චින්තන ජයසේන ඔහුව ‘සිත්තර’ අරඹන්නට දායක කර ගත්තා.  

මෙරට දෙවන චිත්‍රකථා පත්‍රය වූ ‘සිත්තර’ පත‍්‍රය 1975 ඔක්තෝබරයේ ඇරැඹුණු විට ගජමෑන් සමග කැමිලස් එයට සම්බන්ධ වුණා. මල්ටිපැක්ස් ආයතනය පළ කළ සිත්තර මෙරට චිත‍්‍රකථා කර්මාන්තයේ වාණිජමය උච්චස්ථානය සනිටුහන් කළා.

සතියකට පිටපත් තුන් ලක්‍ෂයක් විකුණුනු සිත්තර මුද්‍රණය කිරීම හරියට සල්ලි අච්චු ගසනවා වැනි යයි කථාවක් එකල පැවතුණා. සිත්තරේ ජනප්‍රියත්වයට කථා හා චිත‍්‍ර ශිල්පීන් රැසක් දායක වුණා. එයින් මුල් තැනක් කැමිලස්ට ලැබිය යුතුයි.

විවිධ පත‍්‍ර සමාගම්වලට තමන් නිර්මාණය කළ කාටූන් චරිතවල බුද්ධිමය හිමිකම ලබා ගැනීමට කැමිලස් 1982දී සමත් වුණා. ඉන් පසු ඔහු තමාගේම ප‍්‍රකාශන සමාගමක් ඇරඹුවා. එහි පළමු ප‍්‍රකාශනය වූයේ ‘කැමිලස්ගේ ගජමෑන් සමග සත්සිරි’.

චිත‍්‍රකථාවලට සීමා නොවී කැමිලස් ප‍්‍රකාශන අධ්‍යපනික සඟරාද පළ කළා. පවතින රජය සහේතුකව එහෙත් දැඩි ලෙස විවේචනය කිරීම නිසා ඉරිදා දිවයින කතු රැකියාවෙන් ඉවත් කොට සිටි දයාසේන ගුණසිංහ සූරීන් යළිත් මාධ්‍ය ලෝකයට ගෙන ඒම සඳහා 'සිවුදෙස' නම් සඟරාව පටන් ගත් සැටි කැමිලස් විස්තර කරනවා.

2006දී අරඹන ලද රිවිර පුවත්පත හරහා කැමිලස් යළිත් ජාතික පුවත්පතකට කාටූන් නිර්මාණය කිරීමට පටන් ගත්තා. සිරිබිරිස්, මෙහෙව් රටේ හා ටිකිරි ටොක්ක කාටූන් යළිත් වසර ගණනාවක් පාඨකයන් කුල්මත් කරන අතර බලවතුන් හා ධනවතුන් විවේචනය කළා.

අඩ සියවසක කාලය තුළ තර්ජන, ගර්ජන හෝ නඩු දැමීම පිළිබඳ එන්තරවාසි කිසිවක් ලැබී ඇත්දැයි විමසූ විට කැමිලස් කියන්නේ එසේ නැති බවයි.

මේ සාකච්ඡාවේදී ඔහු පිළිතුරු දෙන තවත් ප්‍රශ්න කිහිපයක්:
ඔබට දේශපාලනයක් තිබෙනවාද?
ඔබ කාටූන් ඇඳීම නතර කළේ කවදාද - ඒ ඇයි?
තමත් කාටූන්වලට අදහස් ඔලුවට එනවද?
නව පරපුරේ දේශපාලන කාටූන් ශිල්පීන් ගැන මොකද සිතන්නේ?
මෙරට චිත්‍රකථා කලාව පිරිහීමට හේතු වූ සාධක මොනවාද?
80 වසරක දිවිය දෙස ආපසු හැරී බලන විට පහළ වන හැඟීම් මොනවාද?

සාකච්ඡා කළේ නාලක ගුණවර්ධන @NalakaG

"ඉතිහාසයේ මුල් කෙටුම්පත ගොනු කරන්නේ මාධ්‍යවේදීන්" [Journalism is the first rough draft of history] කියලා කියනවා. අපේ රටේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් දශක ගණනාවක් තිස්සේ මෙරට මෑත ඉතිහාසය දිග හැරුණු හැටි ගැන සාක්ෂි දැරූ අයයි.

ඔවුන්ගේ අත්දැකීම් සහ මතකයන් අතරින් ඔවුන් වැදගත් හැටියට සලකන දේ ඩිජිටල් මාධ්‍යයේ හසු කර ගෙන බෙදා ගන්නට පෞද්ගලික මට්ටමේ උත්සාහයක් ‘මාධ්‍ය ආවර්ජනා’ සම්මුඛ සාකච්ඡා මාලාව.

මෙම අන්තර්ගතය අධ්‍යාපනික සහ වෙනත් පොදු භාවිතයන් සඳහා ඕනෑම අයකුට යොදා ගත හැකියි.

#MediaHistoryLK
5 سال پیش در تاریخ 1398/09/21 منتشر شده است.
1,251 بـار بازدید شده
... بیشتر